Tuesday, December 7, 2010

අනුරාධපුර, තිසාවැව තදාශ‍්‍රිත කලාපයේ ඓතිහාසික භූ දර්ශනය (වෙස්සගිරි පුරාවිද්‍යා ක්‍ෂෙත‍්‍රය පිළිබඳ විශේෂ අවධානයක් සහිතව සිදුකරන අධ්‍යයනයකි) *

චන්දිම බණ්ඩාර අඹන්වල
පී. විදානපතිරණ

අධ්‍යයන සංක්‍ෂිප්තය
ශ‍්‍රි ලංකාවේ උතුරුමැද පළාතේ අනුරාධපුර දිසත‍්‍රික්කයට අයත් මධ්‍යම නුවරගම් පළාතේ වෙස්සගිරි ග‍්‍රාමනිළධාරි වසමේ වර්තමාන වෙස්සගිරි පුරාවිද්‍යා ක්‍ෂෙත‍්‍රය ස්ථානගත වෙයි. (8 19’ 44.9”N 80 23’ 16.6”E) පැරණි අනුරාධපුර නගරයට දකුණින් පිහිටි වෙස්සගිරිය, තිසාවැව හා තදාශ‍්‍රිත මහින්දාගමනයට සමගාමීව බෞද්ධ භික්‍ෂූ ආරාමයක් බවට පත් වූ ස්ථාන අතුරින් එකකි. වෙස්සගිරියේ ස්ථානනාමය සම්බන්ධයෙන් අදහස් දැක් වූ විද්වතුන් කීපදෙනෙකුම එය ඉස්සරසමණ විහාරය යනුවෙන් නිවැරදි වියයුතු බව පෙන්වා දී ඇත. වෙස්සගිරියෙන් හමුවන අභිලේඛන අනුව උක්ත අදහස සනාථ වේ.

පර්වත සංකීර්ණ ත‍්‍රිත්වයක් ඇසුරු කරමින් මෙන්ම ඒවායින් ස්වායක්තව නිර්මාණය වූ වාස්තුවිද්‍යා අංග ගණනාවකින් සමන්විත මෙම ක්‍ෂෙත‍්‍රය ලක්දිව ඓන්ද්‍රීය වාස්තුවිද්‍යාව අරඹයා කදිම නිදසුනකි. ක‍්‍රි.පූ. 3 සියවසේ සිට ක‍්‍රි.ව. 10 සියවස දක්වා කාලයට අයත් අභිලේඛන රැසකින් ද සමන්විත මෙම ක්‍ෂෙත‍්‍රය ලංකාවේ පැරණිම චිත‍්‍ර නිදර්ශක සහිත ස්ථානයකි. අදින් වසර 5,000 ඉක්මවා යන ප‍්‍රාග්ඓතිහාසික සාධක සපයන මෙම ක්‍ෂෙත‍්‍රය පූර්ව ඓතිහාසික යකඩ (ක‍්‍රි.පූ. 1,000-500) හා මූල ඓතිහාසික අවධි (ක‍්‍රි.පූ. 500-300) නියෝජනය කරන සාධකයන්ගෙන් ද සමන්විත වේ. ඒ අනුව අනුරාධපුර ඇතුළුනගරයට පරිබාහිරව එහෙත් ඊට සමාන්තරව මෙම ස්ථානයේ අඛණ්ඩ මානව ජනාවාසකරණයක් සිදු වී ඇත.

ඓතිහාසික මූලාශ‍්‍ර අනුව වෙස්සගිරියේ භූ දර්ශනයේ ප‍්‍රධාන අවස්ථා හයක් හඳුනාගත හැකිය. දේවානම්පියතිස්ස රජසමයේ ගල්ලෙන් ඇසුරු කරමින් භික්‍ෂු වාසස්ථාන බිහිවීම එයින් පළමු අවස්ථාවයි. ක‍්‍රි.ව. 5 සියවසේ හතරවන කස්සප රජසමයේ වෙස්සගිරිය ඉමහත් වර්ධනයක් අත්කර ගන්නා අතර ඓතිහාසික භූ දර්ශනයේ දෙවන අවස්ථාව වශයෙන් එම කාලය හඳුනාගත හැකිය. මේ කාලයේ වෙස්සගිරියේ නම බො-උපුල්වන්-කස්සපගිරි-විහාරය යනුවෙන් වෙනස් වූ බවට සාධක පවතී. එතැන් පටන් ක‍්‍රි.ව. 10 සියවස දක්වා කාලය මෙම ස්ථානයේ භූ දර්ශනයේ තෙවන අවස්ථාව වශයෙන් හඳුනාගත හැකි ය. 19 සියවසේ යටත්විජිත පරිපාලකයන් මෙම ස්ථානයේ කැනීම් හා තහවුරු කිරීම් සිදුකරන අවධිය මෙම ස්ථානයේ භූ දර්ශනයේ පස්වන අවස්ථාව වශයෙන් හඳුනාගත හැකි අතර වර්තමානයේ දැකගත හැකි භූ දර්ශනය මෙහි භූ දර්ශනයේ හයවන අවස්ථාව වේ.

ප‍්‍රාග් ඓතිහාසික අවධියේ සිට නූතන යුගය දක්වා විවිධ තත්ත්ව ඔස්සේ විකාශනයක් පෙන්නුම් කරන වර්තමාන වෙස්සගිරිය/ඉස්සරසමණ විහාරය ලාංකේය සමාජ විකාශනයේ පැතිකඩක් නිරූපණය කරන නිදර්ශනයක් ලෙස සැලැකීම අයෝග්‍ය නොවේ.

යතුරු පද: වෙස්සගිරිය, ඉස්සරසමණ විහාරය, බො-උපුල්වන්-කස්සප-ගිරිවිහාරය, ඓතිහාසික භූ දර්ශනය, හතරවන කස්සප

* 2010 දෙසැම්බර් මස 5 හා 6 දෙදින තුළ පැවැත්වුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා බුඩිස්ට් ටයිම් භාරය සහ බොසු සහන අරමුදල විසින් සංවිධානය කරන ලද 6 වන ජාතික බෞද්ධ අධ්‍යයන සම්මේලනයේ දී ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවේ සංක්ෂිප්තය.